මේ වූකලි ලොව විවිධ ක්ෂේත‍්‍ර අද මහත් අර්බුද රාශියකට මුහුණ පා ඇති යුගයක් ලෙස හඳුනා ගෙන ඇත. ආර්ථිකය, පරිසරය, සෞඛ්‍ය, දේශපාලනය, මානව සබඳතා හා දැනුම මේ ආකාරයෙන් අර්බුදයේ පතුලේ ගිලී යමින් පවතිනා ප‍්‍රමුඛ අංශ වේ. ”මානව සංහතිය ඉදිරියට ගොස් ඇත්තේ අර්බුද ඇති වීම හා ඒවාට මුහුණ දී විසඳා ගැනීම හරහා ය.” සම්භාව්‍ය ඉතිහාසඥ ආනෝල්ඞ් ටොයින්බ් ගේ මේ ප‍්‍රකාශයට හේතුව, ගෝලීය මානව සමාජයේ අතීත පැතිකඩ විශ්ලේෂණාත්මක ව දැකීමෙන් මතු කර ගත් නිගමනය විය හැකි ය.
මානව සමාජය අද තරම් සංකීර්ණ අර්බුද රාශියකට එකවර මුහුණ දුන් යුගයක් ලෝක ඉතිහාසය තුළ නො වූ බවට ද මුහුණ දීම හා විසඳා ගැනීම සදහා ගමන් ගන්නා මාර්ගය බරපතල අවිනිශ්චිතතා මැදින් කැඳවා ගෙන ගිය යුගයක් මානව ඉතිහාසය තුළ නො වූ බවට ද 1975 මිය නො ගියේ නම් ආර්නෝල්ඞ් ටොයින්බ් විචාරයක යෙදෙනු ඇත.
ණයවර දියවරක් නොවන බව
අධික ණයවර මත අනාගතය භුක්ති විදීමේ ක‍්‍රමවේදය අනුගමනය කිරීම නූතන ආර්ථික සැකැස්ම බවට පත් ව ඇත. විදේශ ගිණුම, වෙළෙඳ ශේෂයන්, අය වැය පරතරය පියවීම සඳහා ගෝලීය ව ණය වීම එක ම පැවැත්ම බවට පත් කර ගෙන ඇත. බොහෝ රටවල අයවැය, ණය වැයක් ලෙසට පරිවර්තනය වී ඇත. මේ ණය යනු මූල්‍ය වටිනාකම් ලෙස ලබා ගන්නා මුදල් නොවනු ඇත. මේ ණයට ගනු ලබන්නේ ස්වභාවික සම්පත් ය. ණය ලෙස ලබාගන්නා මුදල් අගයන් යොදවන්නේ ද සම්පත් පරිභෝජනය සඳහා ම වන අතර, ණය ලබා ගැනීම සඳහා ස්වාභාවික සම්පත් දොළ-පිදේනි ලබා දීම සිදුවේ(චීනයට, ඉන්දියාවට සහ බටහිර රටවලට ලංකාවේ ඉඩම් සහ වෙනත් සම්පත් ආයෝජන ලේබලයට මුවාවී ලබා දෙන්නා සේ ) මේ සම්පත් ණයට ගෙන ඇත්තේ අනාගතයෙනි. ණය ගෙවීම් සීඝ‍්‍ර වත් ම ආර්ථික අර්බුදයක් ලෙසට මතු පිටට පෙනෙන පාරිසරික අර්බුදයේ ගැඹුර වැඩි වේ. හේතුව මූල්‍ය ණයවර ලෙස ලබා ගෙන ඇත්තේ ස්වභාවික සම්පත් නම් ණයවර ගෙවීමට යොදා ගත්තේ ද ස්වභාවික සම්පත් වන බැවිනි. මේ ආකාරයෙන් රටක මූල්‍ය අංශයන්හි මතුවන සෑම අර්බුදයක් ම පාරිසරික අර්බුදයක් ලෙසින් කෙළවර වීම නො වැළැක්විය හැකි නියාමයකි. අද ගෝලීය ව ආර්ථික අර්බුදයක් ද නිර්මාණය වී ඇත්තේ මේ නියාමය හේතුවෙනි. ණය ලබා ගැනීමට හා ගෙවා දැමීමට බහුල ව ස්වභාවික සම්පත් සූරා කෑමට ලක් කිරීම අනිවාර්යය කරුණකි. මන්ද මූල්‍ය අගයයන් යනු මිල කළ හැකි සම්පත් ය. වෙළෙඳපොළ ආර්ථික දාමය මේ සඳහා සකස් කර ගත් ආර්ථික ව්‍යුහය වන අතර, මේ ක‍්‍රමය ප‍්‍රමාණයටත් වඩා හොඳින් ගෝලීය ව ක‍්‍රියාවේ යොදවා අනාගතය අවිනිශ්චිත කිරීමට තරම් ශක්‍යතාවක් තමන් සතු බව මානව සමාජය අද ඔප්පු කර හමාර ය.
ඒසේ නම් අප මුහුණ දී ඇත්තේ ආර්නෝල්ඞ් ටොයින්බිට අනුව අර්බුදයකට යි. එසේ ම ඔහු දක්වන පරිදි මුහුණ දීම හා විසැඳීම සඳහා මානව සමාජය කවර ක‍්‍රමවේදයක් වෙත අනුගත වෙමින් සිටී ද? ගෝලීයකරණය ලෙස වෙළෙඳපොළ ආර්ථික ක‍්‍රමය ගෝලීය මානවයා එකට බැඳ මුහුදේ ගිල්වමින් සිටී. මේ අන්තරායෙන් මිදීමට අපේ සංවර්ධන රාමුව වෙනත් දිශාවකට යොමු කර ගත යුතු ය. නැතිනම් අර්බුදයේ ගිලී මිය යා යුතු ය. නමුත් අනාගතය ණයට ගෙන මිය යා නො හැකි ය. එය මානවවාදී ක‍්‍රියාවක් නො වේ. එසේ නම් සංවර්ධන රාමුව, ආර්ථික උපාය මාර්ග හා ක‍්‍රමවේදය වෙනත් දිශාවකට හැරවීමේ මග පමණක් අපට ඉතිරි ව ඇත. වෙනස්වීමට කාලය ද ඉතිරි ව ඇත. හෙට දවස සඳහා වෙරදරන්නවුන් ඒ සඳහා මංපෙත් ද විවර කර ඇත. එනම් මූලික ආර්ථික උපායයන්ට හරිත ප‍්‍රවේශයක් ලබා දීමේ මංපෙත යි.
BRRRRRR නොවී GREEN වෙමුද
සංවර්ධන රාමුව හා ආර්ථික උපාය මාර්ග අර්බුදයෙන් මිදී, ගෝලයට මිතුරු තිරසාරත්වයක් කරා එසැවීමට මිනිස් වර්ගයාට හැකියාව ඇත. එකී විශ්වාසය සහිත ව පවත්නා ක‍්‍රමයෙන් ආරම්භ කර පුළුල් පරිවර්තන සහිත දිශානතියක් ගෝලය හමුවේ තැබීම හරිත ආර්ථිකයේ මූලික හරය ලෙස හඳුනාගෙන ඇත. යහපත් ලෝකය, විනාශය වෙත කැඳවා ගැණුනේ මිනිස් වර්ගයා අනුගමනය කළ ආර්ථික උපාය මාර්ගවල වරදින් නම්, ආරම්භ කළ යුතු වන්නේ ද ආර්ථික උපායයන් ගෙන් ම වීම නො වරදින ප‍්‍රවේශයකි.
වෙළෙඳපොළ ආර්ථික ක‍්‍රමයේ සීමා ඉතා පැහැදිලි ය. එනම් ගෝලීය ව ආර්ථීකයක්, සමාජයක් හෝ භෞතික ව්‍යුහයන් ගේ වර්ධනයට සීමාවක් තීරණය වී ඇති බව යි. සීමා නිර්ණයෙන් හඳුනාගත් අවසන් ඉමට වෙළෙඳපොළ ආර්ථිකය පිවිස සිටී. සිටිනා තැනින් ආරම්භ කිරීම සඳහා වෙළෙඳපොළ ක‍්‍රමයේ අර්බුදය තේරුම් ගැනීම ද අවශ්‍යතාවකි. මේ ක‍්‍රමය ඇසුරේ දුගියා හැමතින් ම මරණයට කැප කර, සතා-සීපාවා, ගහ-කොළ, ඛනිජ යනාදිය අධිපරිභෝජනයේ ගොදුරු බවට පත් කර ඇත. අනාගත පරපුරට අයත් සම්පත් ප‍්‍රතිඋත්පාදනය කළ නො හැකි ලෙස ක්ෂය කරමින් සූරා කෑම, විවිධත්වය දිය කර දැමීම මූලික අගතිය යි. හේතුව දුගියා ද, සතාසීපාවා ද, ගහකොළ ද, වෙළෙඳපොළ ක‍්‍රමයේ දී සූරාකෑම සඳහා ම වූ නිර්මිත ලෙස හඳුනා ගැනීම යි. ආර්ථික දෘෂ්ටි කෝණයට අනුව ලාභය උදෙසා භාණ්ඩ හා සේවා නිපදවීමේ දී එය චක‍්‍රයක ගමන් කර යි. එනම් පරිසරයෙන් පටන් ගෙන පරිසරයෙන් අවසන් කර යි. ඒ චක‍්‍රය තුළ සම්පත් ඌනනය කර ගැනීමේ දී හා අපහරණයේ දී වටිනාකමක් වෙළෙඳපොළ ක‍්‍රමයේ දී ආරෝපණය නො කරයි. හේතුව සංකල්පය ලාභ යයි. අද වෙළෙඳපොල තුළ නැති මතු පරපුර, ක්ෂය වී ගිය සම්පත්, මානව සබඳතා මේ ක‍්‍රමය තුළ වටිනාකමක් ආරෝපණය නොවන වටිනාකම් විරහිත දේවල් ම වෙයි. න්‍යායාත්මකවත් ප‍්‍රායෝගික ක‍්‍රියාකාරීත්වය අනුවත් වෙළෙඳපොළ ආර්ථිකයේ අර්බුද ගණනාවක් හඳුනා ගත හැකි වී ඇතත්, නොදැනුනා සේ සිටියද මේ ආර්ථිකයේ තරම අද වන විට ආර්ථික විද්‍යාඥයා ගේ සිට දුගියා දක්වා ම අවබෝධ කර ගත් පැහැදිලි සත්‍යයක් බවට පත් ව ඇත.
මේ ක‍්‍රමයේ දී ප‍්‍රාග්ධනය, තාක්ෂණය, උපදේශනය මිනිස් වර්ගයා තළා දමන මෙවලම් ලෙස භාවිත වීම නො වැළැක්විය හැකි ය. එබැවින් නව දිශානතියක් සෙවීමේ දී ප‍්‍රශ්නාර්ථයක් ඉතිරි නො කිරීමට හරිත චින්තනය මුල් කර ගත් ආර්ථික ප‍්‍රවේශය සමත් වී ඇති ද යන්න විමසා බැලිය යුතු ය.
නව සුසමදර්ශය හරිත ආර්ථිකය
ගෝලීය සංවර්ධන රාමුව තුළ විවිධ ආර්ථික ක‍්‍රමවේද රාශියක් පැවැතිය හැකි නමුත්, නිරතුරු ව ම ප‍්‍රමුඛයකු ලෙස ක‍්‍රියාත්මක වී ආධිපත්‍යය පැතිරවීමට කවර හෝ ක‍්‍රමවේදයක් ප‍්‍රයත්න දරයි. කවර ක‍්‍රමවේදය වූවත් මානවයා ගේ පොදු චින්තනය හා භෞතික සම්පත් ප‍්‍රවර්ධනය කර ජීවන ශෛලිය පහසුකර ගැනීමේ මිථ්‍යාව වපුරයි. එනම් මානව සංවර්ධන මිථ්‍යාව යි. සමාජවාදය හා ධනවාදය ලෙස ක‍්‍රියාත්මක මූලික දේශපාලන හා ආර්ථික ක‍්‍රමවේදයන්හි හරය ද එය යි. ගෝලීය සම්පත් උකහා ගෙන පරිභෝජනවාදී උන්මාදය ගොඩනැඟීමේ දී මේ ක‍්‍රමවේද සියල්ල ම එකට සිට ගෙන අත්වැල් අල්ලා ගෙන ඇත. රුසියාව පෙරස්ත්‍රොයිකා ව ලෙස ප‍්‍රතිසංස්කරණ මුවාවෙන් ද , චීනය පිබිදී යැයි කියමින් ද, ධනවාදී වෙළෙඳපොළ ක‍්‍රමය ඇසුරේ හොඳින් සිටගෙන සිටීම පෙන්නුම් කරන්නේ වෙළෙඳපොළ ආර්ථිකය ක‍්‍රමවේදය ක‍්‍රියාවේ යොදවමින් සංවර්ධන මිථ්‍යාවට වැපිරවීමට සමාජවාදය සහ මාක්ස්වාදය ඇසුරේ ද මතවාදීමය ප‍්‍රතිපාදන වෙන් වී ඇති බව යි. පවතින මිථ්‍යා සංවර්ධන රාමුව තුළින් ම වෙනත් දිශානතියක් සොයා යෑමට හරිත චිත්තය උත්සාහ දරන අතර ගෝලීය ව ගොඩනැෙඟමින් ඇති හරිත චින්තනය සංකල්පමය විවිධත්වයක් ගනී. විවිධත්වයක් පැවතීමහරිත චින්තනයට ගැටලූවක් නො වේ.
හරිත චින්තනය ප‍්‍රචලිත කිරීම සඳහා පෙනී සිටින හරිත චින්තකයන් අතරින් කාර්ල් ඩුකාර්ට්ට විශේෂ තැනක් හිමි වෙයි. ඔහු ගේ මූලික අදහස පවතින ක‍්‍රමය සමස්ථවාදී ව හරිත දිශානතියට යොමු කිරීම යි. ඔහුට අනුව හරිත ආර්ථිකයක් ප‍්‍රධාන කරුණු හයක් මත ගොඩනැඟී ඇත. එනම්,
- පුනර්ජනනීය බලශක්තිය
- හරිත ඉදිකිරීම් හා නිර්මිත
- පිවිතුරු පරිවහනය
- ජල කළමනාකරණය හා සංරක්ෂණය
- කසළ කළමනාකරණය
- භූමි කළමනාකරණය
මේ එක් එක් අංශ තුල හරිත ආර්ථික දර්ශනය මුල් බැසගත් පරිවර්තනය වෙත යා යුතු බව ඔහු පෙන්වා දී ඇත.
ග්ලෝබල් සිටිසන් සෙන්ටර් හි කෙවින් ඩානාහර් (Kevin Dhanahar)ගේ අදහස් දේශපාලනික ව්‍යුහයන් සමඟ බැදී ඇති අතර, ත‍්‍රිත්ව පදනමක් මත හරිත ආර්ථිකයක් ක‍්‍රියාත්මක කළ හැකි බව ඔහු ගේ අදහස යි.
පාරිසරික තිරසාරභාවය
ආර්ථික ක‍්‍රියාවලියේ දී පුළුල්අවධානය සහ ගරුත්වය සංවෘත පෘථිවියෙහි සීමිත ධාරිතාවයක් ඇති සීමාසහිත සම්පත් කෙරෙහි යොමු විය යුතු ය.
සමාජ සාධාරණත්වය
සංස්කෘතික විවිධත්වය,මානව ගෞරවය, රැකිය යුතු වන අතර ම සම්පත් පිළිබඳ භාරකාරීත්වය වගකීමක් මේ සමාජය දැරිය යුතු වන සේ නීති ව්‍යුහයන් තුළ නීති ප‍්‍රතිපාදන ඇති කළ යුතු ය. දීප්තිමත් සමාජ ජීවන තත්ත්වය සහතික කරන ක‍්‍රමවේද සරල ජීවන සංකල්ප මඟින් සලසනු ඇත.
දේශීය මූලයන්
දේශීය දැනුම, විශ්වාසය හා ආවේණික විවිධත්වයන් ආර්ථික උපාය මාර්ග තුල ස්ථාපිත වී තිබිය යුතු ය.
හරිත ආර්ථිකයේ ගෝලීය මුහුණුවර තවමත් සකස් වෙමින් පවතින අතර, පවතින වෙළෙඳපොළ ක‍්‍රමය තුල හරිත ආර්ථික සැළසුම් විනිවිද යවමින් සෙමෙන් වෙළදපොල ක‍්‍රමය අත්හැරීමේ ක‍්‍රමවේදය පිළිබඳ කථිකාව වර්තමානයේ දී ආරම්භ වී ඇත.
හරිත ආර්ථිකයේ සතුරෝ
හරිත ආර්ථිකයක් අනුගමනය කරන ලෝකයක් නිර්මාණය වීම වළක්වන බලවේග රාශියක් ඇත. එයින් පවතින වෙළෙඳපොළ ක‍්‍රමය මෙහෙයවන රාජ්‍යයන් සහ බහුජාතික සමාගම් මේ සඳහා ඇති ප‍්‍රබලතම ප‍්‍රතිරෝධයන් ලෙස ක‍්‍රියා කරයි. හරිත ආර්ථිකයක් හරිත ප‍්‍රාග්ධනය මත පදනම් වන බැවින් ලිබරල් රාජ්‍යයන් ගේ ආර්ථික උපකරණයක් වන බහුජාතික සමාගම් තම ලාභ අපේක්ෂාව සඳහා හරිත ප‍්‍රාග්ධනය මංකොල්ල කෑම ලොව පුරා එකසේ සිදු කරයි. අරාබි අප‍්‍රිකානු කලාපයේ වර්තමානයේ දී මතුවෙමින් පවතින දේශපාන අර්බුදකාරී තත්ත්වය හා අතීතය තුළ ද මතු වූ ගල්ෆ් යුද්ධය, ඉරාක ආකමණය හා සෙසු දේශපාලන ගැටුම්වල සැඟවුණු අරමුණ හරිත ප‍්‍රාග්ධනය මංකොල්ල කෑම යි. දැන් නව ආර්ථික බලවතු් වන චීනය සහ ඉන්දියය ලෝකයේ හරිත ප‍්‍රාග්ධනය මංකොල්ලකෑම දෙසට තම අධිරාජ්‍යවාදී ආර්ථික ප‍්‍රතිපත්ති හා දේශපාලන උපාය මාර්ග දිගු කරමින් සිටී. ඇමරිකානු සමාගම් දීීර්ඝ කාලයක් ලොව පුරා ආර්ථික ඝාතක නියෝජිතයින් හරහා හරිත ප‍්‍රාග්ධනය මංකොල්ලයට ලක් කලේය. ඉන්දීයාව සංවර්ධනය වෙමින් පවතින රටවල් ඉලක්ක කර සකසා ඇති දකුණු දිග සැළැස්ම ඔස්සේ ලංකාවේ ඉඩම් තම ආර්ථික කලාපයේ කොටස් බවට පත් කර ගැනීම මේ සඳහා උදාහරණයකි. ඒ අනුව ලංකාවට අහිමි වන්නේ ස්වභාවික සම්පත් පිලිබද සෛරීත්වය පමණක් නොවේ හරිත ප‍්‍රාග්ධන පදනම බරපතල ලෙස අහිමිව යයි. හරිත ප‍්‍රාග්ධනය අහිමි කළ විට හරිත ආර්ථික උපාය මාර්ග ක‍්‍රියාත්මක කිරීමේ පදනම අහිමි ව යයි. ලොව පුරා හරිත ප‍්‍රාග්ධන මංකොල්ල කෑමේ ව්‍යාපෘති ක‍්‍රියාත්මක වෙයි. අනාගතයේ දී එය නිරුපද්‍රිත ක‍්‍රියාත්මක වන තෙක් ගෝලීය තිරසර බව ගොඩනැගෙමින් හරිත ආර්ථිකයක් ගොඩනැඟීමට එරෙහි සතුරු බලපෑම් ලෙස වෙළෙඳපොළ ක‍්‍රමය මෙහෙයවමින් පැරණි ආර්ථික අධිරාජ්‍යවාදී රටවල් හා BRIC (Brazil,Russia,India,China) රටවල් කටයුතු කරනු ඇත. මේ අනුව අපවෙත ඉලක්ක වී ඇති වෙළෙඳපොළ, ආර්ථික හා භූ දේශපාන උපාය මාර්ග දැන් කුමන දිශාවකට කුමන මුහුණුවරකින් ක‍්‍රියාත්මක වන්නේ ද යන්න විමර්ෂණය කළ යුතු ව ඇත. මෙම නව තත්වයන් පිළිබදව ලංකාවේ ක‍්‍රියාත්මක දේශපාලන ප‍්‍රවාහයන් අවධානය යොමු කර නැතිවා සේම ඒ සදහා පිලිතුරු සැපයීමට පොහොසත් දර්ශණයක් ද ඔවුන් සතුව නැත. ලංකාව දැනට ජාත්‍යන්තර දේශපාලනය තුල මුහුණ පා ඇති තත්වය තීව‍්‍ර වන පසුබිමක මිතුරු රටවල් නිර්මාණය කරගැනීම සදහා ස්වාභාවි සම්පත් කොල්ලයට රට විවෘත කර ඇති බව පැහැදිලිය. මේ අනුව ආර්ථික දේශපාල යන අංශයන්හි ඇතිවන සෑම අර්බුදයක්ම අවසන් වන්නේ ස්වාභාවික පරිසරය මතින් වීම වැලැක්විය නොහැකිය.
No comments:
Post a Comment