අද පවතින කෘෂිකර්මාන්තය පිළිබඳ පොදු සත්‍යය බවට පත් ව ඇත්තේ එය ආහාර අවශ්‍යතාව සපුරාලීමට අසමත් බව යි. පෝෂණ අවශ්‍යතා සපුරනු වෙනුවට වස විසෙන් මානවයා පූර්ණ කරන, ස්වාභාවික ලෝකයෙන් වියෝජනය වූ, සමාජය පැතිරුණු අර්බුදයක් දෙසට දක්කා ගෙන යන ඔහු ගේ ම කර්මාන්තයක් බව යි.
කෘෂිකර්මාන්තයේ අද පවතින අර්බුදයේ නිර්මාපකයා කෘෂිකාර්මික සංවර්ධනය සඳහා ප‍්‍රකාශිත ලෝක සැලැස්ම යි. එය නිල නාමය වුවත් ප‍්‍රචලිත නාමය හරිත විප්ලවය යි. එය ලෝක ප‍්‍රජාව සතු ව තුබූ සදාතනික කෘෂිකර්මය ලෝකයට අහිමි කෙළේ ය. ආරම්භයේ පටන් හිරු එළිය හා මහ පොළොව යා කළ, සොබාදහම් අනුහස මුසු කෘෂිකාර්මික සම්ප‍්‍රදායයන් වෙනස් කෙළේ ය. නව තාක්ෂණික කෘෂිකර්මය වත්මනෙහි ප‍්‍රචලිත ගොවිතැන ලෙස මානවයා හා ධරණී තලය මත ව්‍යාප්ත වූයේ ය.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගෝලීය ව නිර්මාණය වූ ආහාර හිඟය හා අස්ථාවර දේශපාලන පසුබිම ඒ සඳහා ඉඩ විවර කර දුන්නේ ය. විප්ලවය යනු පොදු සම්මුතියක් සහිත ව පිළිගත් ශ්‍රේෂ්ඨ පරිවර්තනයකි. ඒ නමින් පෙනී සිටිමින් ලොව ප‍්‍රාග්ධන හිමියෝ විවර වෙමින් පවතින මහා ආයෝජන අවස්ථාවක් ලෙස ආහාර අර්බුදය හඳුනා ගෙන එමඟින් රුදුරු ලෙස ආයෝජනයට යොමු වූහ. සංවිධානාත්මක ව ලාභය පෙරදැරි කර ගනිමින් ලෝකයාට වස කැවීමට අනවරත තරගයක නිරත වූ හ. නෝර්මන් බෝර්ලොග් (Normon Borlog) විසින් නව තිරිඟු ප‍්‍රභේදයක් නිපදවීම මුල් කර ගනිමින් මනස අන්ධ කර ගත් එක්සත් ජාතීන් ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය 1963 දී රටවල් 44 ක් එකතු කර මේ මහා රුදුරු ව්‍යසනයට මුල්ගල තැබී ය. ලෝක බැංකුව ඇතුළු නව බලවතුන් ගේ න්‍යායයන් අනුව යමින් ලෝක කෘෂිකර්මාන්තයේ් ඵලදායීතාව වර්ධනය කිරීමේ අටියෙන් නව කෘෂිකාර්මික උපාය සෙවීමට අනුබල ලැබිණි. එකල අවධාරණය කළ එක ම කරුණ වූයේ පැවැති කෘෂිකර්මයට ලෝක ප‍්‍රජාව ගේ බඩගිනි නිවිය නො හැකි බැවින් පවතින ක‍්‍රමය උඩුයටිකුරු කර හෝ විසැඳුමකට යා යුතු බව යි. මෙලෙස දෙවන ලෝක යුද්ධයේ දී මනුෂ්‍ය සංහාරය සඳහා වැඩි දියුණු කළ රසායනික අත්හදාබැලීම් මඟින් අනාවරණය කර ගත් සෙසු දැනුම, ජීවත් වීමට ගන්නා ආහාර මඟින් ජීවිතය අහිමි කිරීමට මඟ පාදන කෘෂි තාක්ෂණයක් නිර්මාණය කෙළේ ය.
හරිත විප්ලවය අද සදාතනික හරිත විප්ලවය ලෙසට සවිබල ගන්වා ඇත. බලවත් ප‍්‍රාග්ධන හිමිකාරී රටවල් හා ආයතන තම ආර්ථික හා භූ දේශපාලන උපාය මාර්ග සමඟ ගැට ගසා නව ඇරැඹුමකින් වස විස කැවීමේ ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කරමින් සිටී.
හරිත විප්ලවය තුළ සදාතනික නො වූ පෙළහර
1940 දශකය තුළ මැක්සිකෝව, බොර්ලොග් වැඩි දියුණු කළ තිරිඟු බීජ යොදා වගාව ආරම්භ කෙළේ ය. කෘත‍්‍රිම යෙදවුම් ද මුසු කර 1960 දශකය අවසන් වන විට එරට වගා බිම්වලින් 95% ක නව වැඩි දියුණු කළ තිරිඟු බීජ වගා කර අස්වැන්න තුන් ගුණයකින් ඉහළ දැමිනි. ආසියාතික රටවල් ද තම අස්වැන්න වැඩි කර ගැනීම හරිත විප්ලවයේ මිහිරි බලාපොරොත්තු අතර විය. එ මඟින් ධාන්‍ය අස්වැන්න දශක දෙකක් ඉක්මවා යෑමට මත්තෙන් 200% කින් ඉහළ දමා ගැනීමට මේ (සංවර්ධනය වන) රටවලට හැකි විය. මේ වර්ධනය පිටුපස ඇති යථාර්ථය නම් මේ ආශ්චර්යය ලබා ගැනීමට පළිබෝධ නාශක හා පොහොර භාවිතය 300% කින් ඉහළ දැමීමට සිදු වීම යි. දශක කීපයක් ගතවෙද්දී 500% ගුණයකින් රසායන පොහොර හා පළිබෝධ නාශක යෙදුව ද, මුල් කාලයේ දී ලද ඉහළ අස්වැන්න ලබා ගැනීමට නො හැකි විය. අස්වැන්නෙහි අව වර්ධනයක් දැක ගත හැකි විය. යෙදවුම් ප‍්‍රමාණාත්මක ව ඉහළ ගියේ ය. මේ ඔස්සේ ගොවීන්ට ලාභය අහිමි කර ඇත. සමාගම්වල ලාභය තර වී ඇත. මෙය සැබැවින් ම ගොවීන් ගේ පැත්තෙන් මහා ව්‍යසනයකි. මේ ව්‍යසනයට එරෙහි ආරම්භක උද්ඝෝෂණවල සටන් පාඨය වූයේ ගොවීන් ගේ ලාභය අහිමි කර වීම ය. එහෙත් අද සිදු ව ඇත්තේ ලාභය සමඟ ම ජෛව ලෝකය අහිමි ව යෑම යි. අද ලොව පුරා හරිත විප්ලවයේ මුණුබුරු - මිණිබිරියන්ට එරෙහි ව නැෙඟන්නේ 1962 වසරේ දී පරිසරවේදිනියක වන රැචල් කාසන් (Dr. Rachel Carsen) ලියා පළ කළ නිහඬ වසන්තය (Silent spring) කෘතියෙහි අනාවරණයන් මුල් කර ගත් සටන් පාඨය යි.
හරිත වසන්තයේ නිහඬ වේෂය
වසන්තයේ දී හරිත වර්ණ කෙත්වතු උඩින් නීල අහස පුරා ජල බිඳිති රැුගෙන වලාවන් පා වී ගියේ ය. අරුණෝදයේ දී මුවෝ නිහඬ ව කෙත්වතු - බඩවැටි මත තණ බුදිමින් සිටිය හ. මඟ දෙපස ඉබේ වැඩුණු මීවන, ලෝරල්, වයිබර්නට් හා ඕල්ඩර් වනමල් කාගේත් නෙත් පිනවී ය. සීත ඍතුවේ දී පවා මඟ දෙපස සොබා කාන්තියේ අඩුවක් නො වී ය. තුහිනයෙන් ඉහළට එසැවුණු බඩවැටිවල වැඩුණු, වියළීගිය වල් පැළෑටි හා ශාකවල ඇට කෑමට කුරුල්ලෝ රංචු පිටින් පියාඹා ආහ. කිචි බිචිය නිස්කලංකය බිඳ දමමින් තිබිණ.
මිටියාවත්වල සුන්දරත්වය නැරඹීමට කඳුකරයේ සිට දිය දහරාවන් ගලා එමින් තිබිණ. ඒ තුළ ගිලෙමින් ආ මත්ස්‍යයන් ඩැහැගැනීමට කුරුල්ලන් ගෙන් ද, බිලීබාන්නන් ගෙන් ද අඩුවක් මේ මිටියාවතට නොතිබිණි. නා නා විධ වන මල්වල රොන් බීමට පැමිණි ගුමු නදින් මල් වටා රොද බඳින බිඟුන් දුටු ළමයි සොම්නසින් ඔද වැඞී ගිය හ. සමහරෙක් කෑ ගසමින් සමනළුන් හා බිඟුන් පසු පස ලූහුබැඳ ගිය හ.
කාලය සුන්දර ව ද, සාමකාමී ව ද ගෙවී ගියේ ය. කලකට පසු සියල්ල වෙනස් විය.
රැචල් කාසන් මෙසේ ලියුවා ය.
”කුරුල්ලෝ, සමනළු කොහි ගියෝ ද? බොහෝ දෙන කැලැඹීමකින් හා කුතූහලයෙන් යුතු ව කතා කළ හ. ගෙවතු, බඩවැටි පාළු ය. නිහඬ ය. ඉඳහිට දක්නට ලැබුණු කුරුල්ලන් කීප දෙන දුබල පෙනුමකින් යුක්ත වූ හ. උන් මරණය වැලැඳගන්නා තෙක් කටු පොරවා ගෙන ඔහේ සිටිය හ. තුරු මුදුන් මත හෝ බිම් කැදැලිවලින් කුරුලූ බිජු පුපුරා කිචි බිචි ගාන පැටවු එළියට නො ආවෝ ය. වනමල් ද, පැළෑටි ද, අතුරුදහන් ව ඇත. බිඟු නද ද, සමනළ වර්ණ ද අතුරුදන් ය. ජලජයන් වූ මත්ස්‍යයෝ දියේ ගිලී ගියෙන් ක්ෂණික වූ ද තේරුම් ගත නො හැකි වූ ද අරුමයකින් මිටියාවත වෙළෙමින් තිබිණි. ළ\රුවෝ ද, ළමයි ද, වැඩිහිටියෝ ද, අරුම ලෙඩවල ගොදුරු බවට පත් වූ හ. පල දරන ගස්වල මල් පිපුණ ද, පරාගණයට බිඟුන් නො වූයෙන් පල දැරුවේ නැත. මුවන් සැරිසැරූ කෙත්බිම්වලට ඔවුහු අද නො එත්. රොබින් නාද අරුණෝදයේ සවනට නොඇසේ. දුෂ්ට ශාපයකින් මිටියාවත ම වැසී ගියා සේ විය.”
සත්‍ය පසුබිමක් පිළිබඳ ව මේ වැකි ඇය ලියන විට, හරිත විප්ලවයේ වසන්තයෙන් දෑස් නිලංකාර කර ගනිමින් බහුතරය ප‍්‍රතිගාමී මඟකට පිවිස සිටියා හ. එහෙත් ඈ ලියූ සත්‍යය අද ඔඩු දුවා ඇති අර්බුදයේ ගැඹුර තේරුම් ගැනීමට ප‍්‍රදීපස්ථම්භයක් විය. ”නිහඬ වසන්තය” කෘතියේ පිටුවක් පාසා කෘෂිකර්මාන්තයේ දී අප වගාවන්ට යොදන කෘමිනාශක, වල්නාශක හා කෘත‍්‍රිම රසායන පොහොරවලින් සිදු වන අගතිය ලියා තිබේ. එහි අපේ බත්පතට වස මුසු වන හැටි හොඳින් අනාවරණය කර තිබේ. 20 වන සියවසේ දී ලොවට වඩාත් ම බලපෑමක් කළ හැකි වූ ග‍්‍රන්ථය බවට ද, 21 වන සියවසට වලංගු සත්‍යය ද අන්තර්ගත ග‍්‍රන්ථය බවට එය පත් ව ඇත. මේ සත්‍යය දැන අපි කුමක් කරමු ද, කුමක් කරමින් සිටිමු ද?
නිහඬ වසන්තය හමුවේ දුප්පත් අපි
මානව සංහතියේ කුසගිනි නිවීමේ මැජික් විප්ලවය ලෙස විරුදාවලිය ලද හරිත විප්ලවය දෙසත්, කෘමිනාශක - වල්නාශක හා පොහොර දෙසත් සැකමුසු බැලූම් බලන්නට නිහඬ වසන්තය කෘතිය හා ඒ මත පදනම් වූ බහුජන ක‍්‍රියාකාරිකයන් හේතු විය. ලොව පුරා මේ අදහස් පෙරටු කොට ගත් ආකල්ප ලියලන්නට පටන් ගැනිණි. රැුචල් කාසන්ට පින්සිදු වන්නට බටහිර සමාජය සැලැකිය යුතු තරමකින් මේ ව්‍යසනයෙන් මිදෙන්නට වෙර දරද්දී, මාරක සමාගම්, තුන් වැනි ලෝකයේ දෙපය ම තබා සිට ගත්තේ ය. අපේ බත් පත මුල් කර ගැනීම ඔවුන් ගේ එක ම වෙළෙඳපළ උපක‍්‍රමය විය. ඒ අනුහසින් අපේ ගොවි රජවරුනට වස විසෙන් ඔටුණු පලඳවනු ලැබූ හ. ප‍්‍රතිඵලය රැුචල් කාසන් අනුවේදනීය ව ලියූ ඇගේ නගරය සහිත මිටියාවත පදවියේත්, ශී‍්‍ර පුරත්, මැදවච්චියේත්, හම්බන්තොටදීත් මතු වීම යි. ලංකාවේ මුළු වියළි කලාපය ගොවි ජනපද වසන්තයේ ආ නිහඬ මාරයාට ගොදුරු කර අවසන් ය. දැන් ඇත්තේ පශ්චාත් පරීක්ෂණයන් ය.
මානව හිතවාදී පරිසර හා කෘෂි ක‍්‍රියාධරයන් කෑ ගැසූ හ. තරමක් හෝ ජනතාව අවදි කරලන්නට ඒ හඬට හැකි වූ මුත්, නිද්‍රාශීලී ව තබන්නට වස විස සමාගම් සැකැසූ පිඹුරුපත්වලට හැකියාව ලැබිණි. තවදුරටත් හැකි තරම් කෘමිනාශක, වල්නාශක, රසායන පොහොර භාවිතය ගොවිතැනේ සංවර්ධන දර්ශකය බවට පත් කරවීමට සමාගම් සතු වුවමනාව, ඔවුන් ගේ අපේක්ෂාවන් ගේ ප‍්‍රමාණයටත් වඩා ඉදිරියට ගෙන යෑමට ජනතාවත් ආණ්ඩුවත් මැදිහත් වී සිටිනු පෙනේ.
No comments:
Post a Comment