Wednesday, February 22, 2012

ආහාර සුරක්‍ෂිතතාව හා ස්වෛරීත්වය බිලිගත් රටක තවත් ආහාර දිනයක්



එක්සත් ජාතීන් ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය වූ කලී (Food Agriculture Organization) 1945 ඔක්තෝබර් 16 වනදා ක්ව්බෙන් නගරයේ දී රටවල් 44 ක නියෝජිතයන් සමඟ නිල ආරම්භය සනිටුහන් කළ සංවිධානය යි. ලෝක ආහාර දිනය 1979 දී පවත්වන ලද 20 වන සමුළුවේ දී හංගේරියාවේ හිටපු ආහාර හා කෘෂිකර්ම ඇමතිවරයා වූ ආචාර්ය පෝල් රොමානි (Dr. Pal Romany) ගේ ප‍්‍රමුඛ කාර්ය භාරය යටතේ ගනු ලැබූ තීන්දුවකි. ඒ අනුව ලෝකය පුරා කුසගින්න හා දරිද්‍රත්වය මුලිනුපුටා දැමීමට හඬනැඟීම උදෙසා ජගත් දිනයක් ප‍්‍රකාශයට පත් කිරීමට තීරණය කැරිණි. ඒ අනුව 1981 සිට රටවල් 150 ක් පුරා වාර්ෂික ව වෙනස් වන තේමාවන් යටතේ හුදු තවත් ජගත් දිනයක් ලෙස ඔක්තෝබර් 16 දින ලෝක ආහාර දිනය සමරනු ලැබේ. 2011 වසරේ මෙරට ලෝක ආහාර දිනයෙහි කතිකාවක් ඇති වන මට්ටමේ කටයුත්තක් රජය හා FAO මඟින් සිදු නොකළත් එදින රජරට වකුගඩු රෝගීන් හා ඔවුන් ගේ ඥාතීහු ශ‍්‍රී ලංකාවේ එක්සත් ජාතීන් ගේ සංවිධාන මූලස්ථානය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් සිදු කලහ. මේ උද්ඝෝෂණය FAO හි ගෝලීය මෙන්ම ලංකාවේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳ ව නැවත  සිතා බැලිය යුතු බව අවධාරණය කළෝය. රජ රට ගොවි පවුල්වල වකුගඩු රෝගයට ගොදුරු වී ඇති රෝගීන් හා ඔවුන් ගේ ඥාතීන් ගෙන් සමන්විත ව පැමිණි උද්ඝෝෂකයෝ වකුගඩු රෝගයට සහ ලංකාව පුරා කෘෂිකර්ම සංවර්ධනයට මුවා වී මනුෂත්වයට හා පරිසරයට සිදු කළ අගතියට වහා වන්දි ගෙවන ලෙසට බල කර සිටියහ. ලෝකයේ කුසගින්න සහ දරිද්‍රත්ව ය මුලිනුපුටා දැමීමට ගෝලීය මට්ටමින් ක‍්‍රියාකරන ආයතනයකට මෙවැනි චෝදනා එල්ල වීම මේ ආයතනවල ක‍්‍රියාකාරීත්වය පිළිබඳ ව පුළුල් ලෙස විමසා බැලිය යුතු බවට ලබා දෙන ඉගියක් වෙයි. ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ක‍්‍රියාකාරීත්වය දෙසට ද විමර්ශනය යොමු කළ යුතු හේතු මේ උද්ඝෝෂණය කෙරෙන් ම පැන නැඟී තිබේ. රජයක් රටක ආහාර සුරක්ෂිතතාව, ආහාර ස්වෛරීභාවය ඇති කළ යුතු සේ ම, ජනතාව ගේ ද පාරිසරික දේහයන් ගේ ද සෞඛ්‍යවත් බව රැුකීමට කටයුතු කළ යුතු වෙයි. එපමණකින් රජයක වගකීම සීමා නොවන අතර ආහාර නිෂ්පාදනය හා පරිභෝජනය සඳහා සම අවස්ථාවන් ලබා දීම ද, ජාතිය සතු භූමිය රටට සම්පතක් ලෙස කළමනාකරණය කිරීමේ ප‍්‍රමුඛ වගකීමක් ද ඊට පැවරෙයි. ලංකාවේ  මේ තත්ත්වයන් ගේ ක‍්‍රියාකාරීත්වය විශ්ලේෂණය සඳහා ලෝක ආහාර දිනයට පසු වදනක් ලෙස මේ සටහන තැබෙයි.


ලෝක ආහාර දිනය, FAO හා ශ‍්‍රී ලංකාව
1944 එක්සත් ජනපද කැනඩා දේශ සීමාවේ පිහිටි බ්‍රෙටන්වුඞ් නගරයේ පැවැති රහස් සම්මේලනය FAO ආරම්භය තුඩු දුන් සාකච්ඡුාව යි. ඇමරිකන් ජනාධිපති රූස්වෙල්ට් රටවල් 19 ක් සම්බන්ධ කර ගනිමින් මේ සම්මේලනය පවත්වන ලද අතර, දෙවන ලෝක යුද්ධයෙන් ගරා වැටුණු කුසගින්නෙන් පෙළෙන යුරෝපය ගොඩනැඟීම සඳහා සැලැසුම් සකස් කිරීම මෙහි ප‍්‍රධාන අරමුණ විය. එහෙත් ඒ සැලැසුම යුරෝපයේ කුසගින්න, සාගතය අවසන් කිරීමකින් පසු ව නවතා දමන සැලැසුමක් නො වී ය. එය ඇමරිකාව හා යුරෝපයේ ඉදිරි ආර්ථික ක‍්‍රමෝපාය ය සැලැසුම් වන පසුබිමකින් ද සමන්විත විය යුතු බව සම්මේලනයේ ඒකමතික තීරණය විය. ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ රොබට් මෙගන්තාවුස් ගේ සංකල්ප සහිත ව සැළසුම එළි දැක්විණි. ක්ෂණික නැඟීසිටීම හා දීර්ඝකාලීන ආර්ථික ආධිපත්‍යයක් සඳහා වන මඟ ඒ තුළ අන්තර්ගත කෙරිණි. ඒ අනුව 1945 ඔක්තෝබර් 16 ක්විබෙක් නගරයේ දී රටවල් 44 ක නියෝජනයෙන් ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයට නිල මුහුණුවර සහිත මුල්ගල තබන ලදී.

FAO  සුද්දන් ගේ සූදු මෙහෙයුමක් 
2010 වර්ෂය වන විට ලෝක ජනගහනයෙන් මිලියන 925 ක් සාගින්නෙන් පෙළෙන තත්ත්වයක පවතින බව කියා සිටින්නේ ත්‍්ධ වර්තාව යි. එම ප‍්‍රමාණය බිලියන හතක් ඉක්මවා සිටින ලෝක ජනගහනයෙන් තුළ කුසගින්නේ සිටීම ලෝක ප‍්‍රජාවෙන් හත් දෙනකුට එක් අයෙකි. ගෝලීය ව සාගතයේ පරිමාව මේ තරම් දුරක් පැමිණ ඇත්තේ ආරම්භයේ සිට ම ලෝකයේ කුසගින්න දුරු කරලීම සඳහා ත්‍්ධ අන්තර්ජාතික මට්ටමින් රාජ්‍යයන් හි ක‍්‍රියාත්මක වෙමින් තිබිය දී වීම පුදුම සහගත ය. ත්‍්ධ මුල් සැලැසුම්වලට අමතර ව එක්සත් ජාතීන් ගේ සහස‍්‍ර සංවර්ධන ඉලක්කවලට සමගාමී ව අටවැදෑරුම් ඉලක්ක හඳුන්වා දෙනු ලැබ ඇත.
- දරිද්‍රත්වය හා කුසගින්න මුලිනුපුටා දැමීම
- ප‍්‍රාථමික අධ්‍යාපනය පුළුල් ලෙස වැඩි දියුණු කිරීම
- කාන්තාව සවිබල ගැන්වීම හා ලිංගික සමානාත්මතාව තහවුරු කිරීම
- ළදරු මරණ අනුපාතිකය පහත හෙළීම
- මාතෘ සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම
- HIV, AIDS"  මැලේරියා හා වෙනත් ව්‍යාධීන් නිවාරණය කිරීම
- පාරිසරික තිරසර භාවය සහතික කිරීම
- ගෝලීය සංවර්ධනය සඳහා ගෝලීය සහසම්බන්ධය තහවුරු කිරීම
සැලැසුම් කළ ඉලක්ක සියල්ල ජගත් මට්ටමින් ක‍්‍රියාවේ යෙදවීම අරමුණ වූවත් නිරතුරුව නිවර්තන අප‍්‍රිකා ආසියා කලාප දෙසට නැඹුරුව ක‍්‍රියා කර ඇති බව පැහැදිලි ව හඳුනා ගත හැකි සාක්ෂ්‍ය FAO  ක‍්‍රියාකාරීත්වය තහවුරු කර තිබේ. නිවර්තන රටවල මානව සම්පත් හා පරිසරය අගතියේ හෙලීමට කූට ලෙස ඔවුන් ක‍්‍රියාකර ඇති ආකාරය අද හෙළිදරව් වෙමින් පවතී. අට වැදෑරුම් ඉලක්කවලින් කිසිවක් ජය ගෙන නැති වූවත්  FAO හි නිල අරමුණුවලට මුවා වී රාජ්‍ය නොවන සංවිධාන හරහා බ්‍රෙටන්වුඞ් සමුළුවේ දී අවධාරණය කැරුණු බටහිර අවශ්‍යතාවන් සඳහා ද ගෝලීය සහසම්බන්ධය තහවුරු කිරීමේ ක‍්‍රියාකාරීත්වයට පණ පෙවීමට ද ඔවුන් කටයුතු කර තිබේ. මේ දුෂ්ට ක‍්‍රියාකාරීත්වය හොඳින් හදුනාගැනීම සඳහා බ්‍රෙටන්වුඞ් සමුළුවේ සිට සහස‍්‍ර ඉලක්කගත ක‍්‍රියාකාරීත්වය තෙක් FAO  ක‍්‍රියාකාරීත්වය විමසිය යුතුය. එක්සත් ජාතීන් ගේ ශ‍්‍රී ලංකා කාර්යාලය ඉදිරිපිට රජරට වකුගඩු රෝගී ගොවීන් උද්ඝෝෂණය තෙක් වූ පෙළගැසීමත්,  ලංකාවේ රජය මැදිහත්ව වර්තමානයේ ජනතාව ගේ ඉඩම් සහ පාරිසරික සංවේදී භූමිකොල්ලයක නිරත වෙමින් බහුජාතික සමාගම් සඳහා බදු දෙමින්, විකුණමින් ගෙන යන ප‍්‍රතිපත්තියත් එක්  සන්දර්භයක් ලෙස සලකා අවබෝධ කර ගත යුතු ය.
බ්‍රෙටන්වුඞ් සමුළුව තුළ දී ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ රොබට් මෙගන්තාවුන් ගේ සංකල්පය වූයේ දෙවන ලෝක සංග‍්‍රාමයෙන් බිඳ වැටුණු යුරෝපය නැවත නඟාසිටුවීම සමඟ ඇමරිකා එක්සත් ජනපද ආර්ථික හා දේශපාලන ආධිපත්‍ය තහවුරු කිරීම් උපාය මාර්ග කෙරෙහි ය. යුරෝපයේ සහ එක්සත් ජනපදයේ නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ සෙසු රටවල් තුළ තහවුරු කර ගැනීම සහ ශීත ඍතුවක් නැති, වර්ෂය පුරා හිරු එළියත් මහ පොළොවට වර්ෂාවත් ලැබෙන තිරසර ස්වං පෝෂණයකින් හෙබි රටවල භූමිය යුරෝපා, ඇමරිකා පරිභෝජනවාදී සමාජයේ අවශ්‍යතා සඳහා ආයෝජනයෙහි යෙදවීමට පෙලැඹවීමේ මූලික උපාය මාර්ගය ඒ අතර විය. ඒ සඳහා ලෝකය තුළ ව්‍යූහාත්මක වෙනස්කම් රාශියක් ආර්ථික, සංවර්ධන හා ආයතනික අංශයන් හි ඇති කිරීමට යෝජනා කැරුණි.
විස්තෘත ඉඩම් පරිභෝජනය මත පදනම් වන ඒක බෝග වගාවන් සඳහා ප‍්‍රාග්ධන ආයෝජනයට ණය සැපැයීම සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF)  පිහිටුවීම සිදු කැරිණි. ණය දීමෙන් හෝ මූල්‍ය ආයෝජනයෙකින් පමණක් අපේක්ෂිත ඉලක්ක ළඟා කර ගත නොහැකි ය. නව පරිවර්තනයක් ලෝකය තුළ සිදු ව ඇති බැවින් ඊට සමගාමී ව කෘෂිකර්මයේ දී ද වෙනස්කම් කළ යුතු බව අවබෝධ කළ යුතු ය. ඒ සඳහා ආර්ථික හා සමාජීය යටිතලය හැඩගන්වා ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. ප‍්‍රතිනිර්මාණ හා සංවර්ධන සදහා වන අන්තර්ජාතික බැංකුව (IBRD)  නොහොත් ලෝක බැංකුව යෝජනා වන්නේ මේ කාර්යයන් සාධනය සඳහා ය. මේ ක‍්‍රියාදාමය සාර්ථක කර ගැනීමට ගොදුරුබිම්වල රාජ්‍යයන් හා සමාජයන් පෙළ ගැසී සිටින විට ප‍්‍රාග්ධන හා දැනුම ආයෝජනයන්හි ඉහළ ම ප‍්‍රතිලාභ පංගුව වහා වෙන්කර ගත යුතු ය. ඒ සඳහා කොල්ලකාරී වෙළෙඳාම් හා තීරුබදු ක‍්‍රමයක් අවශ්‍ය වේ. වෙළෙඳ හා තීරු බදු සාමාන්‍ය ගිවිසුම (GATT) බිහිකිරීම මඟින් අවශ්‍යතාවය පූර්ණත්වයට පත් කර ගැනීමට බ්‍රෙටන්වුඞ් මන්ත‍්‍රණය සමත් වෙයි.
සාර්ථක සැලැසුම ඉතා සාර්ථක කර ගැනීමට ද අවකාශයක් තිබෙන බවත් ඒ සඳහා නිවර්තන රටවල බිම් මට්ටමේ සිට ප‍්‍රතිපත්ති සම්පාදනය දක්වා ඍජු හා වහා මැදිහත් වීමේ උපාය මාර්ගික සිතියම එළීමට ආහාර හා කෘෂිකර්ම සංවිධානය පිහිටුවීම වැදගත් බව යි. FAO වැඩ පටන් ගන්නේ තුන්වැනි ලෝකයේ කුසගිනි නිවීම හා ආර්ථික තිරසර බව සඳහා වන සද්කාර්යට උරදෙන මුහුණුවරකිනි. එමඟින් මේ නිවර්තන රටවලට පෙන්වා දුන්නේ 1942 දී එක්සත් ජනපදයේ වැඩිදියුණු කළ තිරිඟු ද 1943 දී පිලිපීනයේ මැනිලාහි දී වැඩි දියුණු කරන ලද වී වර්ග මෙන් ම සෙසු සියලූම වැඩිදියණු කරන ලද ධාන්‍ය හා ආහාර භෝග වගා කර එහි ඇති වැඩි අස්වැන්න විකිණීමෙන් අත්කර ගත හැකි ධනයේ හා ලාභයේ තරම යි. අධික කෘෂි යෙදවුම් සමඟින් ආ මේ ආශ්චර්යයට දුප්පත් නිවර්තන රටවල් ඉතා වේගයෙන් ආකර්ෂණය විය. අප‍්‍රිකා හා ලතින් ඇමරිකා රටවල් මෙහි මිහිර අත් විඳිද්දී ආසියාතික රටවලට ද මෙකී මිහිර පෙන්වා දෙන්නට  විය. එනම් FAO, අන්තර්ජාතික මූල්‍ය අරමුදල, ලෝක බැංකුව ලෝක වෙළෙඳ සංවිධානය අපේ රටවල ආණ්ඩු ඒ දෙසට තල්ලූ කර දැමීමයි. ඒ සඳහා ආණ්ඩු පාලකයන් ගේ සිට නිලධාරීන් ගේ ද ගොවියන් ගේ ද මොළ සෝදා හැර නව ආශ්චර්යවත් කෘෂි ආර්ථික විප්ලවයේ මිහිරෙන් මොළ පුරවාලන ලදී. ලහි ලහියේ නිවර්තන රටවල ධරණිය ව පවත්වා ගෙන ආ කෘෂිකාර්මික හා ආර්ථික ක‍්‍රම වෙනුවට අලූත් ක‍්‍රම සහ විධි ස්ථාපිත කරවූ හ. ලංකාව ද 1968 දී කෘෂිකර්ම ප‍්‍රතිපත්තිය වෙනස් කිරීමෙන් ලොව පුරා උපායශීලී ව ඔසවන ලද FAO ධජය යට සිට ගැනීමට කටයුතු සම්පාදනය කරන ලදී. ඒ සඳහා ඇමරිකා ෆෝඞ් පදනම හා ලංකා රජය 1968 දි නව ප‍්‍රතිපත්ති මූලික සැලැසුමකට එළැඹිණි.

ලංකාව ව්‍යවසනයේ කොඩිය යටට
මානවයා ගේ පොදු වුවමනාවන් තහවුරු කරන පැවැත්මේ දහමට රැුහැනි ව ලොව පුරා ව්‍යාප්ත කරන ලදු ව මහත් ව්‍යසනයක් ධරණි තලය මත පතුරුවා හළ ත්‍්ධ ක‍්‍රියාකාරීත්වය 1968 සිට මෙරට කෘෂි ආර්ථික දේහයේ සමතුලිතතාව තීරණාත්මක ව වෙනස් කෙළේය.
- ෆෝඞ් - ලංකා ගිවිසුම හරහා එතෙක් ලංකාව පවත්වා ගෙන ආ හිරුඑළිය මහ පොළොව යා කළ සොබාදම් ගොවිකමේ අනුහස බිඳ වැට්ටවීම ප‍්‍රථම අදියර විය. කෘෂිකර්ම සංවර්ධනය සඳහා ප‍්‍රකාශිත ලෝක සැලැසුමේ (හරිත විප්ලවය* අන්තර්ගත නව කෘෂි තාක්ෂණික ක‍්‍රම සමාජගත කිරීම සඳහා අවශ්‍ය ආර්ථික අංශයේ හැඩය මුළුමනින් ම වෙනස් කිරීමට සෑම එකඟතාවක් ම එවක රජයන් ගෙන් ලබා ගැණුනි. සම්ප‍්‍රදායික කෘෂි තාක්ෂණික දැනුම සමාජයෙන් අතු ගා දැමීමට නව දැනුම ලෙස කරළියට ගෙන ආ කූට වෙළෙඳ ආර්ථික, දේශපාලන බල ව්‍යාප්තියට අදාළ පාඨමාලා විශ්ව විද්‍යාලයයන් තුළත් සෙසු ආයතන තුළත් කඩිනමින් ස්ථාපිත කරන ලදි. ඒ මගින් දිගුකාලීන ව බලවතුන් ගේ ප‍්‍රකාශිත ලෝක සැලැසුමට අනුගත කරවීමේ පදනම සකස් කරන ලදි.

- 1977 හඳුන්වාදුන් විවෘත ආර්ථික ප‍්‍රතිපත්තිය බ්‍රෙටන්ඩුඞ් සමුළුවේ උපාය මාර්ග අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා වේගයෙන් ලංකාව තුළ තහවුරු කර ගැනීමට පසුබිම් සකස් කළේය. පවත්වා ගෙන ආ වතු ආර්ථිකයත් ජාතික කෘෂි ආර්ථිකයත් අතර තුලිතතාව බිඳ වට්ටවන ව්‍යූහාත්මක ව වෙනස්කම් ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් හා FAO උපදෙස් අනුව රටේ ආර්ථික ප‍්‍රතිපත්තීන්ට ඇතුළු කිරීම, බහු ජාතික සමාගම් සඳහා විවෘත වෙළෙඳපොළක් ලංකාව තුළ ඇති කිරීම හා විදේශීය සමාගම් සඳහා අපනයන විවිධාංගිකරණ මහ පරිමාණ භෝග වගාව සඳහා දැයේ ඉඩම් කොල්ලයට මුල් ගල තැබීම මේ වකවානුවේ සිදු විය. අධි යෙදවුම් මත පදනම් වූ කෘෂිකර්මය සමාජ ආර්ථික දේහයේ ඉන්ද්‍රියයක් බවට පත් කරවීමටත් මේ යුගයේ පහසුකම් සැපයිණි.
- 1994 දී ලාංකික සමාජය වෙනස් අපේක්‍ෂාවන් සහිත ව නව රජයක් පිහිටුවා ගත්ත ද ඒ යුගය අවසන් වූයේ බෙට‍්‍රන්වුඞ් අපේක්‍ෂාවන් සහ ඔවුන් ගේ නව මුහුණුවර සහිත උපාය මාර්ග නිවර්තන රටක් ලෙස ලංකාව තුළ ද තහවුරු කරනු ලැබූ යුගයක් ලෙසිනි. සිවිල් සමාජය  මේ අන්තර්ජාතික උපාය මාර්ග ප‍්‍රශ්න කරන තැනකට රැුගෙන ගිය විශේෂිත කාලයක් ලෙස ද මේ කාල වකවානුව හඳුනා ගත හැකි ය. FAO, WTO, IBRD iy IMF  හි ග‍්‍රහණය ලංකාව ප‍්‍රබල ව නතු වූ යුගයක් වීමත් තීරණාත්මක ව බෙට‍්‍රන්වුඞ් අපේක්ෂාවන් හි ලංකාව සිර කිරීමටත් අවශ්‍ය පසුබිම් ප‍්‍රතිපාදන, රජය විසින් සැපයෙනු දැක ගත හැකි විය. 1996 දී ලෝක බැංකුව ගෙන ආ  ”ශ‍්‍රී ලංකා වැවිලි නොවන බෝග සඳහා විකල්ප ප‍්‍රතිපත්ති යෝජනා” වාර්තාව තීරණාත්මක වූවකි. එහි දී වී ගොවිතැන වැනි මිල අඩු බෝග වගාවන් අධෛර්යවත් කළ යුතු බව ද, සුළු පරිමාණ ගොවීන් සතු ඉඩම් විකුණා දැමීමට දිරි දිය යුතු බවට ද වන යෝජනා එහි අන්තර්ගත විය. විකල්ප ලෙස අධි කෘෂි යෙදවුම් මත පදනම් වන විදේශීය අවශ්‍යතාවන් සඳහා බෝග වැවීමට නිර්දේශ කරන ලදි. ගර්කින්, බේබිකෝන්, ෆාම් ඔයිල් හා ජෛව ඉන්ධන සඳහා ලංකා භූමිය ආයෝජනය එදා සිදු විය. ජල කළමනාකරණ පනත මඟින් ජලය විකුණා දැමීම, එප්පාවල ෆොස්පේට් නිධිය විකිණීමට ප‍්‍රයත්න දැරීම, පොහොර සහනාධාර මඟින් බහු ජාතික සමාගම් ලාභය තරකර අද උත්සන්න වී ඇති වස විස යෙදවුම් ව්‍යසනය ත‍්‍රීව‍්‍ර කිරීම මේ යුගයේ ගනු ලැබූ ප‍්‍රතිපත්ති අතර වෙයි.
- 2005 වර්ෂයෙන් පසු ගෙවී ගිය මුල් භාගය ලංකාවේ එතෙක් පැවැති ජනවාර්ගික අරගලය මත පදනම් වූ ත‍්‍රස්තවාදි ක‍්‍රියාකාරකම් මුලිනුපුටා දැමීමට අවධානය යොමු වූ කාලවකවානුවකි. මේ අවධානය අතරතුරේ බ්‍රෙටන්වුඞ් අභිලාෂ පදනම් වූ ලෝක සැලැස්ම ලංකාවේ ද යහතින් ක‍්‍රියාත්මක වෙමින් තිබිණි. මන්ද ඒ වකවානුවේ දී  FAO, WTO  හෝ බහුජාතික සමාගම්වලට කටයුතු බාධාවකින් තොර ව පවත්වා ගෙන යෑමට රාජ්‍ය යන්ත‍්‍රණයෙන් බාධාවක් නොවීම යි. සමාජය ද යුධ ජයග‍්‍රහණයේ විස්මයෙන් නිද්‍රාශීලි කැරිණි. ජාත්‍යන්තර ආයතන හා කොමිස් උපයන දේශපාලකයින් අද රටේ ජාතික ඉඩම් කොල්ලයකට පාර කපා ඇත්තේ මේ නිර්වාරණය හා ජනතාවගේ නිද්‍රාශීලිත්වය විය යුතු ය.
1968 න් අරැුඹි උපද්‍රව්‍යය ව්‍යසනයකට පෙරැුළී ඇත්තේ දැන් ය. නව කෘෂි තාක්ෂණයේ පිහිටෙන් ගොවිබිම් මත හලාහල වස විස මිනිසාට පාරා වළල්ලක් වී හමාර ය. රජරටත්, රටපුරාත් වකුගඩු රෝගීන් ලක්ෂ ගණනකි. දියවැඩියාව, අම්ල පිත්තය (ගැස්ටි‍්‍රක්*, පිළිකා බහුල වී සොබාදහමේත් භූමියෙත් ප‍්‍රති උත්පාදන ශක්තිය බිඳ වැටී ඇත.
FAO, UN බලගතු රටවල අපේක්‍ෂාවන් ඉටුකරන බළල් අත් බව කෙතෙක් කීව ද නෑසූ කන්ව සිට, වස විස නැති පාරිසරික ගොවිතැනට නැවත යන්නට කෙතෙක් දැනුම්වත් කළ ද තේරුම් නොගත් ගොවි ජනතාව අද UN ඉදිරිපිට උද්ඝෝෂණ කර තමාට සිදු කළ අගතිය වෙනුවෙන් වන්දි ගෙවන්නැයි යෝජනා කරති ඒ තරමට ඔවුන් අර්බුදය තේරුම් ගෙන ඇත. වස විසට එරෙහි ව තවත් පසෙකින් මහා ජන මතයකි. එහෙත් වත්මන් ආණ්ඩුව එහි ගැඹුර අවබෝධ කර ගත් බවක් නො පෙන්වයි. ආණ්ඩුව UN සමඟ හෝ වෙනත් අන්තර්ජාතික ආයතන සමඟ යුද අපරාධ හෝ ජනවාර්ගික අ්රබුදයට දේශපාන විසැඳුම් සඳහා වූ වාදය මත අවිධිමත් ගැටුමක නිතර වී සිටී. අනෙක් පසින් රටේ ජාතික සම්පත් හා ඉඩම් වැරැුදි දේශපාලන, ආර්ථික න්‍යායන් හා උපාය මාර්ග යොදා ගනිමින් විදෙස් රටවල හා අන්තර්ජාතික ආයතනවල වුවමනාව වෙනුවෙන් බිලි දෙමින් අපූරු ගනුදෙනුවක නිරත වී සිටී.

ආහාර ස්වෛරීභාවය, ජනතාව, වකුගඩු රෝගය හා ආසියාවේ ආශ්චර්ය
1968 සිට රටේ ආහාර සුරක්ෂිතතාව හා ස්වෛරීත්වය වෙනුවෙන් ශ‍්‍රී ලංකා රජය FAO සමඟ අත්වැල් බැඳ ගෙන ක‍්‍රියා කරයි. 2009 වසරේ දී FAO ක්ෂේත‍්‍ර වැඩසටහන් සඳහා ලොව පුරා බෙදාහැර ඇති ඇමරිකා ඩොලර් මිලියන 715 න් සැලැකිය යුතු මුදලක් ලංකාව සඳහා ද ලබා දෙන්නට ඇත. තාක්ෂණික සහය හා හදිසි නඟා සිටුවීම් සඳහා යන තේමාව යටතේ ලබා දෙන මුදල් කුමන අරමුණක් සඳහා සේවා කර ඇත් ද යන්න හොඳින් ම පැහැදිලි කර ගැනීමට පසුගිය ලෝක ආහාර දිනය දා, එක්සත් ජාතීන් ගේ ශ‍්‍රී ලංකා මූලස්ථානය ඉදිරිපිට රජරට වකුගඩු රෝගී ගොවීන් පැවැත් වූ උද්ඝෝෂණයේ සටන් පාඨ කීයවීම ම ප‍්‍රමාණවත් වෙයි.
- FAO මාරයා අපේ බතට වස දැම්මා, අපේ වැවට වස දැම්මා, අපේ කෙතට වස දැම්මා                
- UN, FAO  වකුගඩු රෝගී සැමට වහා වන්දි ලබා දෙනු
මෙලෙස හඬනගන්නේ හිතළුවක් මවා ගෙන නො වේ. ලොව පුරා වස විස නිපදවන බහුජාතික සමාගම් සඳහා වෙළෙඳපොළ නිර්මාණය කරදීම බ්‍රෙටන්වුඞ් මන්ත‍්‍රණයට අනුව FAO කාර්ය භාරයකි. ඒ ඔස්සේ රටවල් සතු භූමිය නිසරු වී, ලෙඩ රෝග බහුල වී වාරිමාර්ග හා ජල සම්පාදන ක‍්‍රමය වෙනස් වී ආහාරවල ගුණාත්මය පහත වැටී, සුළු නිශ්පාදකයා අධෛර්යවත් ව කුසගින්න සාගතය උග‍්‍ර කරවන, ජනතාව ලෙඩ කරවන පසුබිමක ලෝකය හිරවෙමින් සිටී.
වත්මන් ආණ්ඩුව ලංකාව ආසියාවේ ආශ්චර්ය ය බවට පත් කරලීම සඳහා පිඹුරුපත් සකසමින් විවිධ ක‍්‍රියාමාර්ග අනුගමනය කරනු පෙනේ. ඒ තුළ සූක්ෂ්ම ඉඩම් කළමනාකරණයක් මඟින් රටේ කුසගිනි නිවන ව්‍යාපාරයට දිරි දෙමින් සිටින බව ඔවුන් ගේ ප‍්‍රචාරක යන්ත‍්‍රණය කියා සිටී. එහි සලකුණු ලෙස ‘අපි වවමු රට නඟමු’ ‘දිවි නැඟුම’ වැනි වැඩසටහන් රටේ ආහාර අර්බුදයට විසදුම් ලෙස ක‍්‍රියාත්මක කරමින් සිටී. එම වැඩසටහන් ලබන  ඕනෑ ම ප‍්‍රමාණයක ප‍්‍රගතියක් පිළිබඳ ව රටක් ලෙස සතුටු විය යුතු ය. එහෙත් එයට සමාන්තර ව රටේ ආහාර සුරක්ෂිතතාව හා ආහාර ස්වෛරීත්වයට මරු පහරක් එල්ල කරන ව්‍යාපෘතීන්හි ද  ආණ්ඩුව නිරත ව සිටී. ‘අපි වවමු රට නඟමු’ ‘දිවි නැඟුම’ ව්‍යාපෘති සාර්ථක කර ගැනීමට නොවෙහෙසෙන දේශපාලකයින් හා නිළධාරීන් දිවා රැු වෙහෙසෙන්නේ රටේ ජාතිය සතු ආහාර උත්පාදන ශක්තිය හිමි ඉඩම් විදේශීය සමාගම් වෙත කුණු කොල්ලයට විකුණා දැමීම හා බදු දීමටයි. මේ ඉඩම් ආයෝජනය කරන්නේ් ද සත්ත්ව ආහාර නිෂ්පාදනය, විදේශීය වෙළෙඳපොළ සඳහා පලතුරු, මාංශ හා කිරි නිෂ්පාදනය,  විදේශීය බෝග වර්ග වැවීම පිණිස ය. මේ සඳහා  රජය සතු විභව ඉඩම් හිග කමින් ජාතික වනෝද්‍යාන, අභය භූමි, යෝජිත රක්ෂිතවල ඉඩම් මෙවැනි අහිතකර ව්‍යාපෘති සඳහා බදු දීම හෝ විකුණා දැමීම දක්වා තත්ත්වය දැන් දුර දිග ගොස් තිබීම ඛේදවාචකයකි.      
   

ගේ කුරුල්ලන් බත් කූරන් සමඟ ආහාර ස්වෛරීයත්වය
ආහාර සුරක්ෂිතතාව හා ආහාර ස්වෛරීත්වය  ඕනෑ ම රටකට ප‍්‍රමුඛ ජාතික අවශ්‍යතාවයකි. 2011 ලෝක ආහාර දිනයේ මූලික තේමාව ආහාර මිල ඉහළ යා ම කුසගින්නේ තබන ජන සංඛාව ඉහළ දමන බව යි. ලොව ආහාර මිල මෙතරම් ඉහළ යමින් පවතින්නේ නිෂ්පාදන බිම් සීමා වීම, පරිසරයේ ප‍්‍රතිඋත්පාදන ශක්තිය බිද වැටී අස්වැන්න අඩු වීම, බහු ජාතික සමාගම් මාෆියාව ආහාර නිපදවීම ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් කර ගැනීම ආදිය හේතුවෙනි. ප‍්‍රචාරණය මඟින් කෘත‍්‍රිම හා ක්‍ෂණික ආහාර ඉල්ලූම පවත්වාගෙන යෑම, මිල පවත්වාගෙන යෑමට ආහාර අතිරික්ත විනාශ කිරීම, අධික කෘෂි යෙදවුම් මිල ආහාර මිලට ගැලැපීම, ආහාර නිෂ්පාදන බිම් හා අස්වනු උපද්‍රවයන්ට ගොදුරු වීම, ජෛව  ඉන්ධන නිපදවීම හා සත්ව ආහාර නිෂ්පාදනය සඳහා වගා බිම් භාවිතය, ආහාර බෙදාහැරීමේ විෂම ව්‍යාප්තිය, සුළු ගොවි ධීවර නිෂ්පාදකයින් අඩපණ කිරීම, ලොව පුරා වර්ධනය වන දිළිදු බවේ විෂම චක‍්‍රය සමඟ ක‍්‍රය ශක්තිය පහළ වැටීම ද ප‍්‍රබල හේතුකාරකයෝ වෙති. ලොව පුරා මෙවැනි තත්ත්වයන්ට පිළිතුරු සෙවීමට පොදු සම්මුතියක් ඔස්සේ ගැඹුරෙන් තීන්දු ගැනීම ක‍්‍රමවේදයක් කර ගෙන ඇතත්. ජාතික ආරක්‍ෂාව මැයෙන් ලංකාවේ එවැනි තත්ත්වයක් නැති පසුබිමක ආහාර සුරක්ෂිතතාව හා ආහාර ස්වෛරීත්වය සාක්‍ෂාත් කර ගැනීම සඳහා සම්මුතියක් නැතත් කථිකාවකට ළංකර ගත හැකි විසදුම් හා යෝජනා සමාජයේ පවතී. ජාතික ආරක්ෂාව පිළිබඳ ව පමණක් කටයුතු කළාට ආහාර සුරක්ෂිතතාව ස්වෛරීත්වය රැුක ගැනීමට නොහැකි නම්  ඕනෑ ම මොහොතක රටක ජාතික ආරක්ෂාව බිඳ වැටීම අනිවාර්ය තත්ත්වයකි. ලංකාවේ දී මේ අන්තරායෙන් මිදීමට සමාජයේ පවතින කතිකාව  ඉතා පැහැදිලි ය.
- FAO සහ බහුජාතික සමාගම්වල උපදේශකත්වයෙන් මිදීම
- කුඩා පරිමාණ ගොවීන් හා නිෂ්පාදකයන් කේන්ද්‍ර කරගත් කෘෂි ආර්ථික ක‍්‍රමයක් ගොඩනැඟීම
- විකුණා දැමීම දිරිගැන්වීමට නො ව ආහාර නිෂ්පාදනය සඳහා භාවිත කිරීමට ඉඩම් අයිතිය නිරවුල් කිරීම
- දේශීය බීජ සම්පත් රැුක ගැනීම, ජාන වෙනස් කළ බීජ ව්‍යාප්තිය අඩ පණ කිරීම
- අපනයනය මූලික කරගත් වාණිජ ගොවිතැන වෙනුවට දේශීය ස්වංපෝෂීතාව තහවුරු කිරීම සඳහා භූමිය හා සම්පත් ආයෝජනය
- කෘෂිකර්මය හා ආහාර වෙළෙඳාම සම්බන්ධ පෞද්ගලික වෙළෙඳ ආධිපත්‍ය අවම කිරීම
- දේශීය අවශ්‍යතාව සඳහා අවශ්‍ය ආහාර නිෂ්පාදන කළ හැකි ඉතිරි ව ඇති අවසන් භූමි විදෙස් සමාගම් වෙත ලබා නොදීම
- රටේ ආහාර සුරක්ෂිතතාව නංවන ශ‍්‍රම බලකාය අවිධිමත් ලෙස විදෙස් රැුකියා (කායික ශ‍්‍රමය* සඳහා යොමු කරමින් සිටීම විධිමත් කිරීම (කොරියා රැුකියා කෝටාව* කෘෂි ශ‍්‍රම බලකාය විධිමත් ව කළමනාකරණය කරවන කාන්තා හා තරුණ දායකත්වය සඳහා සුරක්ෂිත, තෘප්තිමත්, අභිමානවත්, කෘෂි ආර්ථික ප‍්‍රතිපත්තියක් ඇති කර පෙන්වීම
- භූමිය සතු ප‍්‍රතිඋත්පාන හැකියාව වැඩි කළ හැකි පරිසර ගොවිතැන බහු ජාතික සමාගම්වල වුවමනාව අනුව මරා දැමීමට ඉඩ නො දී (ආසනික් ගැටලූවේ දී රජය අනුගමනය කල ප‍්‍රශ්න කාරී ක‍්‍රියා පිළිවෙතින් බැහැරව ක‍්‍රියා කර* භූමිය සතු ප‍්‍රති උත්පාදන ශක්තිය ගොඩනැඟීමට සැලැසුම් සකස් කිරීම. වස විස භාවිතය වෙනුවට දේශීය පරිසර ගොවිතැන හා කාබනික ගොවිතැන ප‍්‍රචලිත කිරීම
- සංචාරක මේනියාවට රටේ ගොවිතැන සවිමත් කරන ජලාශ හා වැව් නතු කර සී ප්ලේන් බෑමට හැකි මට්ටමට වඩා ජලය අඩුවන පරිදි ගොවිබිම්වල දියවර නිකුත් කිරීමට බාධා කිරීම නවතා කෘෂි සංචාරක සංකල්ප සහිත විකල්ප හදුන්වා දීම.
- දේශීය ගොවිතැන් ක‍්‍රම හෝ නිෂ්පාදන සඳහා කිසිදු සහනාධාරයක් ලබා නොදුන්නද ත්‍්ධ සහ බහුජාතික සමාගම් වුවමනා අනුව කෘෂි රසායන හා රසායනික පොහොර සඳහා ලබා දෙන සහනාධාරය අත්හිටු වීම
- නාගරික කම්කරු හා මැද පන්තියේ ජනතාව සඳහා වන ආහාර නිෂ්පාදන ක‍්‍රමවේදයක් ඇති කිරීම, නාගරික පොදු භූමි භාවිතය, නාගරික ගෙවතු වගා ඇති කරලීම
-  FAO සහ බහුජාතික සමාගම්වල උපදේශකත්වයෙන් කෘෂිකර්මාන්තය හා ආර්ථිකයේ ඇති කළ ව්‍යසනය පිළිබඳ විධිමත් කතිකාවක් ඇති කිරීමට පරීක්ෂණ කමිටුවක් ඇති කිරීම මඟින් නිර්දේශ ලබා ගැනීම
මෙලෙස කටයුතු නොකිරීමට රටක් ලෙස අප අපොහොසත් වන තාක් කල් කුසගින්නෙන්, මරණයට කැප කළ මන්දපෝෂිත ජනතාවක් රටේ ජීවත් වනු ඇත. වකුගඩු ඇතුළු මිනිස් සිරුර ලෙඩ කරගත් ගොවීන් හා ජනතාව උද්ඝෝෂණවල නිරත වෙති. රටේ ඉඩම් විදෙස් සමාගම්වලට බදු දෙති. ඒ හරහා දේශපාලකයින් කොමිස් කුට්ටි උපය යි. අනාගත පරපුර වස විසේ ගොදුරු වෙති. ආහාර සුරක්ෂිතතාව හා ස්වෛරීත්වය අහිමි ව, පවතින බටහිර බලපෑම් හමුවේ ජාතික ආරක්‍ෂාව අහිමි කරගත් ජාතියක් බිහි වෙයි. සොබාදහමේ ප‍්‍රතිඋත්පාදන ශක්තිය එන්න එන්නට බිඳ වැටෙයි. FAO, UN, WTO, IMF, ලෝක බැංකු අත පෙවීම් වැඩි වෙයි. එතෙක් අපි ආහාර දිනය උත්කර්ෂවත්ව සමරමු.        
   

No comments:

Post a Comment